වුහාන් සිට පැමිණි සිසුන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට

Report
38Shares

චීනයේ වූහාන් සිට පැමිණ, දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයින් 33දෙනා අකුරේගොඩ, යුද හමුදා මූලස්ථානය වෙත මේ වන විට පැමිණ ඇත.

ඒ, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටතව යෑමටයි.

කෙසේනමුත් යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය අද පෙරවරු 10.00ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් පිටත් කර හැරුණු බවයි වාර්තා වූයේ.

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි මෙම ශ්‍රී ලාංකිකයින් 33 දෙනා පසුගිය පළමුවනදා දිවයිනට රැගෙන එනු ලැබීය.

ඉන්පසුව නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ඔවුන් දියතලාව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කෙරුණු විශේෂිත මධ්‍යස්ථානයක සියලු පහසුකම් යටතේ දින 14ක කාලයක් රඳවා තැබීමට කටයුතු කෙරුණි.

කෙසේවෙතත් කොවිඩ්-නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මේවන විට ජීවිත 1486ක් බිලි ගෙන අවසන්.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වන විට 65000 ඉක්මවා ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසය ආසාදනය වී සුවඅතට හැරී ඇති සංඛ්‍යාව 5954 ක් බවයි.

මේඅතර අමෙරිකාවෙන් ද මේ වන විට කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.