කොවීඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාගයක්

Report
4Shares

සියම් මහ නිකායේ අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් ප්‍රමුඛ විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු ඒකමතිකව ගත් තීරණයකට අනුව රුපියල් ලක්ෂ 50 මුදලක් ජනපති විසින් ආරම්භ කළ කොවීඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග කර තිබේ.

මහනාහිමි ප්‍රමුඛ කාරක සංඝ සභික ස්වාමින්ද්‍රයන් වහන්සේලා හැකි පමණින් ලබාදුන් දායකත්වය මත මෙම මුදල ඒකාරාශි කළ බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමියෝ පැවසූහ.

අදාළ මුදල් කොවීඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට බැර කිරීමට අදාළ බැංකු රිසිට් පත අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාට බාර දීම ඊයේ (27) අස්ගිරි මහ විහාරීය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට සමගාමීව රුපියල් ලක්ෂ 05 ක වටිනා කමින් යුත් සහල් මිටි දහසක් මහනුවර දිස්ත්‍රික්කයේ දුගී ජනතාව අතර බෙදා දීම පිණිස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට බාර දීම අස්ගිරි මහනාහිමි අතින් සිදු කෙරුණි.

කොරෝනා ව්‍යසනයෙන් රට මුදා ගැනීම පිණිස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතා කැපවීමෙන් මෙන්ම උනන්දුවෙන් කටයුතු කරන බවත් එතුමාට ශක්තියක් ලබාදීම පිණිස අස්ගිරි මහ විහාර පාර්ශවය අදාළ තීරණය ගනු ලැබූ බවත් අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමියෝ ප්‍රකාශ කළහ.

අස්ගිරි පාර්ශවය විසින් ගනුලැබූ මෙම තීරණය සියලු රට වැසියන්ට ආදර්ශයක් වනු ඇතැයිද උන්වහන්සේ කීහ.ඉතා ඉක්මනින් මේ රටත් ලෝකයත් කොරෝනා ව්‍යසනයෙන් මිදී සුවපත් වේවායි ප්‍රාර්ථනය කරන බවද අනුනාහිමියෝ ප්‍රකාශ කළහ.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි,ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද,නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද,කාරක සංඝ සභික හිමිවරුන් වන කුඹුක්කදන්වල පුඤ්ඤරතන,මුරුද්දෙනියේ ධම්මරතන යන නාහිමිවරුද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදුනී කරුණාරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න යන මහත්ම මහත්මීන්ද සහභාගි වූහ.