MSC Magnifica නෞකාවේ සිටි ජර්මන් ජාතික කාන්තාවක්ද ගොඩබිමට රැගෙන එයි

Report
11Shares

ජාත්‍යන්තර මගී ප්‍රවාහන නෞකාවක් වන MSC Magnifica නෞකාවේ රාජකාරි සිදු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු විසින් සමාජ මධ්‍ය ඔස්සේ ඔහුව ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පසුගිය දිනෙක ඉල්ලීමක් සිදු කර තිබූ අතර, ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අනුමැතිය මත නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වාගේ සෘජු මැදිහත්වීම මත එම ශ්‍රී ලංකිකයා ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට අද (06) නාවික හමුදාව කටයුතු කළහ.

ඊයේ (05) දින මුහුදු සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබූ මගින් සහ කාර්ය මණ්ඩලය 2700කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත මෙම නෞකාව ලෝකය පුරා පැතිරී යන කොරෝනා වසංගතය හේතුවෙන් සිය සංචාරය ඕස්ට්‍රේලියාවේදි නවතා දැමීමට කටයුතු කරන ලද අතර, පසුව කිසිදු රටක වරායකින් මෙම නෞකාව බාර නොගැනීම හේතුවෙන් නෞකාවේ මව් ශාඛාව පිහිටා තිබෙන ඉතාලිය බලා පිටත් වීමට ගමන් ආරම්භ කර ඇත.

නෞකාව ඉතාලිය බලා ගමන් කරන අවස්ථාවේදී ඉන්ධන සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ වරාය ආසන්නයට පැමිණෙන බවත් එහිදී තමන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසත් එහි රාජකාරි සිදු කරනු ලැබූ එකම ශ්‍රී ලාංකිකයා වන අනුර බණ්ඩාර හේරත් මහතා විසින් සිදු කරන ලද ඉල්ලීමක් මත ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් මෙම පුද්ගලයා ගොඩ බිමට රැගෙන ඒම සඳහා අද (06) අලුයම් කාලයේදී කොළඹ වරාය‍ට මුහුදු සැතපුම් 4.4 ක පමණ (කිලෝමීටර 09 කට) ආසන්නයට පැමිණි එම නෞකාව වෙත ලඟා වූ නාවික හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්විම පිළිබඳ ඒකකය විසින් එම ශ්‍රී ලාංකිකයා ආරක්‍ෂිතව ගොඩබිමට ගෙන ඒමට කටයුතු කර ඇත.

මීට අමතරව මෙහි සිටි රෝස්මෙරි මාග්‍රට් නම් වූ 75 වියැති ජර්මානු ජාතික හදවත් රෝගී කාන්තාවක්ද ප්‍රථිකාර සඳහා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාව අත්තර් ජාතික නීතියට සහ සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව වග කියන සොයා බැලීමේ සහ මුදවා ගැනීමේ කළාපය (SARR) තුල අනතුරට හෝ හදිසි තත්ත්වයන්ට මුහුණ පාන නෞකාවන් සඳහා ආධාර කිරීමේ වගකීමක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවරී ඇත.

එසේ නමුත් දැනට ලෝකය පුරා පවතින සෞඛ්‍යමය තත්ත්වය මත වගකීමටත් එහා ගිය මානුෂීයත්වයකින් මෙම රෝගී වූ කාන්තාව ගොඩ බිමට රැගෙන ඒමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සෘජුව මැදිහත් විය.

පසුව කොවිඩ් 19 මැඩලීමේ ජනාධිපති කාර්යසාධක බලකාය වෙත දැනුම් දීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් වලට අනුව සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් මෙම පුද්ගලයා සහ රෝගී කාන්තාව වරාය පරිශ්‍රය තුළදීම පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව අදාල පුද්ගලයා පමණක් දින 21 ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ආරක්‍ෂිතව බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර රෝගී කාන්තාව ප්‍රථිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

ලෝකයේ කිසිදු වරායකින් මෙම නෞකාව භාරගැනීමට කටයුතු කර නොතිබූ අවස්ථාවක එම නෞකාවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා මෙසේ ගෙන්වා ගැනීමට කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප ආඩම්බර විය යුතු කරුණකි.

ඒ අනුව, මෙලෙස ගොඩබිමට ගෙන එන ලද එම නෞකාවේ සේවය කල අනුර බණ්ඩාර හේරත් මහතා විසින් ශ්‍රී ලංකා රජයට, ජනාධිපතිවරයාට සහ නාවික හමුදාවට ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය කෘතඥතාවය පල කර සිටින ලදි.