ඉන්දියාවේ කම්කරුවන් 16 ක් දුම්රියකට යටවී මියයයි... සම්පූර්ණ විස්තරය මෙන්න..

Report
5Shares

ඉන්දියාවේ මහාර්ෂ්ට්‍ර ප්‍රාන්තයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියකට යටවීමෙන් සංක්‍රමණික කම්කරුවන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

මහාර්ෂ්ට්‍ර ප්‍රාන්තයේ ඕරන්ගබාද් ප්‍රදේශයේ දී අද උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බලධාරීහු පවසා ඇත්තේ දුම්රිය මාර්ගයේ නිදාගෙන සිටි පුද්ගලයන් මතින් දුම්රිය ගමන් කර ඇති බවයි.

මෙම සංක්‍රමණිකයන් ජල්නා සිට භූස්වාල් දක්වා ගමන් කරමින් සිට ඇතැයි සඳහන්.

විසි දෙනෙකුගෙන් යුත් සංක්‍රමණික කම්කරුවන් කණ්ඩායමේ දිවි ගලවාගත් සිව් දෙනෙකු දැඩි කම්පනයට පත්ව සිටින බව දැක්වේ.

කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් අගුලු දමා ඇති ඉන්දියාවේ නගර වල සේවය කරන කම්කරුවන් බොහෝ දෙනකු දුම්රිය මාර්ග ඔස්සේ පයින්ම තම ගම්බිම් කරා ගමන් කරන බවත් එලෙස ගමන් කිරීමේදී වෙහෙසට පත් පිරිසක් දුම්රිය මාර්ගයේ නිදාගෙන ඇති බවත් බලධාරීන් වැඩිදුරටත් පවසයි.

මියගිය කම්කරුවන් පිරිස සැතපුම් 22ක් පමණ ඇවිදීමෙන් පසු විවේක ගැනීමට තීරණය කර ඇති අතර දුම්රිය ධාවනය නොවන බවට උපකල්පනය කර ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇත.

නගර වසා දැමීම හේතුවෙන් බොහෝ කම්කරුවන්ට ආහාර පාන මිලදී ගැනීමේ ගැටලු ඇතිවී තිබෙන බවත් ඔවුන් ගම්බිම් කරා ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් පැවසේ.

දුම්රිය මාර්ගයේ පාවහන් සහ වෙනත් පෞද්ගලික බඩු බාහිරාදියකින් පිරී ඇති අතර ඔවුන්ගේ ගමන සඳහා ඔවුන් රැගෙන ගිය රොටි පවා මාර්ගයේ දක්නට ලැබෙන බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.

කෙසේනමුත් අනතුර වීමට ප්‍රථම දුම්රිය නවත්වා ගැනීමට රියදුරු උත්සාහ කර ඇති බව දුම්රිය අමාත්‍යාංශය ට්විට්ර් පණිවුඩයක් මඟින් දැනුම් දී තිබේ.

මේඅතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසා ඇත්තේ මෙම මාරක රිය අනතුරින් ජීවිත අහිමි වීම සම්බන්ධව තමා අතිශයින් ශෝකයට පත්ව ඇති බවයි.