රටවල් 123ක ශ්‍රී ලාංකිකයන් 42,522 ක් දිවයිනට පැමිණීමට සූදානමින්.

Report
15Shares

විදෙස්ගතව සිටින මෙරට විගාමික ශ්‍රමිකයන් ඔවුන්ගේ ඉල්ලීම් පරිදි යළි දිවයිනට ගෙන්වා ගැනීම අඛන්ඩව සිදුකෙරෙන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

මැදපෙරදිග සහ අනෙකුත් කලාපවල සිටින විශේෂයෙන් තමන් සිටින රටවල නීත්‍යානුකූලභාවය හෝ රැකියා අහිමිවූවන් පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, කොවිඩ් 19 කාර්ය සාධක බලකාය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එම පියවරට එළඹෙන බවයි.

එහිදී නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින සංඛ්‍යාව ඉහළ යාම තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතිවන බලපෑම ද සැලකිල්ලට ගැනෙනවා.

පසුගියදා කුවේටයෙන් රැගෙන ආ ශ්‍රමිකයන් රැසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම අවධානයට යොමුවී ඇති කරුණක්.

මේ හේතුවෙන් ඉදිරියේදී දිවයිනට ගෙන්වා ගැනීමේ දී ගුවන් ගමන් සඳහා ශ්‍රී ලාංකිකයන් නංවා ගැනීමට පෙර පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට ද සැලසුම් කෙරේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පසුගිය 27 වනදා වනවිට රටවල් 123ක ශ්‍රී ලාංකිකයන් 42,522 ක් දිවයිනට පැමිණීම සඳහා අයදුම් කර තිබෙනවා.

ඉන් 34,881ක් විගාමික ශ්‍රමිකයන් වන අතර, එයින් ද 20,893ක් මැදපෙරදිග සේවයේ නිරතව සිටින අයයි.