අම්පන් සුළි කුණාටුවේ බලපෑම සම්පූර්ණයෙන්ම පහව යයි.

Report
1Shares

අම්පන් සුළි කුණාටුවේ බලපෑමෙන් ශ්‍රී ලංකාවට ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම සුළි කුණාටුව ඉන්දියානු හා බංග්ලාදේශ ගොඩබිම් ප්‍රදේශවලට ඇතුළු වීමෙන් පසු සම්පූර්ණයෙන්ම පහව ගොස් තිබේ.

මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් එම රටවල් දෙකෙහි සිදු වූ මරණ ගණන 84 ක් වනවා.

අම්පන් සුළිකුණාටුවේ බලපෑම මේවන විට ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කළත්, අද දිනයේත් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද රාත්‍රියේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එමෙන්ම රත්නපුර,මහනුවර,මාතලේ,කෑගල්ල, නුවරඑළිය,ගාල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වනවා.

බෙංගාල බොක්ක ප්‍රදේශයෙන් හමා ගිය අම්පන් සුළිකුණාටුව ඉන්දියානු හා බංග්ලාදේශ ගොඩබිමට ඇතුළුවූයේ ඊයේ පස්වරුවේදීයි.

එය ගොඩබිමට ඇතුළු වන විට පැයට කිලෝ මීටර් 115 ක උපරිම වේගයක් ළඟාකරගෙන තිබුණා.