කොරෝනා මරණ 21,000 ඉක්මවද්දී ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් දැඩි සීමා කිරීම්වලට

Report
24Shares

මේ වන විට රටවල් 198 ක ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 21,181 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කරනවා.

ලොව පුරා ආසාදිතයින් හාර ලක්ෂ 67,594 ක් වාර්තාවන අතර, ඉන් එක්ලක්ෂ 13,770 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති බවයි වාර්තාවන්නේ.

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිර යන ඉතාලියේ පසුගිය පැය 24 තුළ මරණ 683 ක් වාර්තාවූ අතර, මේ වනවිට එහි සමස්ථ මරණ සංඛ්‍යාව 7,503 ක් වනවා.

උතුරු ඉතාලියෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර, එම තත්ත්වය දකුණු ඉතාලියට ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා එරට සෞඛ්‍ය බලධාරීන් දැඩි ප්‍රයත්නයක නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

මේ අතර ඉතාලියෙන් පසුව වැඩිම මරණ ගණනක් වාර්තා වන ස්පාඤ්ඤයෙන් ගතවූ පැය 24 තුළ මරණ 656 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ස්පාඤ්ඤයේ මේ වනවිට වාර්තාවී ඇති මුළු මරණ සංඛ්‍යාව 3,467 ක්. එහි ආසාදිතයන් සංඛ්‍යාව 49,515 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ප්‍රංශයේ පැය 24 ක් තුළ මරණ 231 ක් වාර්තාවන අතර, මුළු ආසාදිතයන් සංඛ්‍යාව 25,600 ක්.

විදෙස් වාර්තා වලට අනුව, මේ වන විට කොරෝනා වෛරසයේ නව කේස්ද්‍රස්ථානය ලෙස සලකන ඇමරිකාවේ නව මරණ 155 ක් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 942 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ආසාදිතයන් සංඛ්‍යාව 65,778 ක් වර්ධනය වී තිබේ.

ඉරානයෙන් මරණ 143 ක්, නෙදර්ලන්තයේ මරණ 80 ක් සහ ජර්මනියේ මරණ 47 ක් ගතවූ පැය 24 තුළ වාර්තාවී තිබෙනවා.

නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් මේ වනවිට දැඩි සීමා කිරීම්වලට යටත්ව ජීවත් වනවා.

එනම් බිලියන 1.3 ක ජනතාවක් වෙසෙන ඉන්දියාව වසා දැමීමට තීරණය කිරීමත් සමඟ මෙම තත්ත්වය උදාවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පැතිර යන කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් තීරණ රැසක් ගෙන ඇති බවද විදෙස් වාර්තා ප්‍රකාශ කරනවා.

1379 total views